Published On: Mon, Oct 9th, 2017

පොලිසියෙන් කනේ පහර කෑ තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ලෙන් මාතර මහ රෝහලට යවයි

Loading...

පසුගිය 06 වැනිදා හම්බන්තොට පැවැති විරෝධතාව අතරතුරදී උසස්‌ පොලිස්‌ නිලධාරියකුගේ පහර කෑමට ලක්‌ව තංගල්ල මූලික රෝහලේ 08 වැනි වාට්‌ටුවේ ප්‍රතිsකාර ලබමින් සිටි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙරේදා (07 දා) පස්‌වරුවේ මාතර මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ඒ අනුව පහර කෑමට ලක්‌වූ තරුණයා පෙරේදා (07දා) පස්‌වරුවේ මාතර මහ රෝහලේ උගුර කන නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ. මෙලෙස උසස්‌ පොලිස්‌ නිලධාරියෙකුගේ පහර කෑමට ලක්‌වූයේ අංක 04, ආදාහන මළුව පාර, අස්‌ගිරිය, මහනුවර ලිපිනයේ පදිංචි වීරසේකර මුදියන්සේලාගේ සුසන්ත බණ්‌ඩාර නැමැති තරුණයායි.

විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෝ පොලිස්‌ අත්අඩංගුවට පත්වූහ. මෙහිදී කිසිදු සොයා බැලීමකින් තොරව පහරකෑමට ලක්‌වූ තරුණයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන පොලිස්‌ වාහනය වෙත රැගෙන එමින් සිටින අතර වාරයේ කිසිදු විමසීමකින් තොරව උසස්‌ පොලිස්‌ නිලධාරියකු ඔහුට කනේ පහරක්‌ එල්ල කළේය. එම අවස්‌ථාවේ මාධ්‍යවේදීන් එම ස්‌ථානයේ සිටිනු දුටු එම උසස්‌ පොලිස්‌ නිලධාරියා වහාම ඔහුගේ ස්‌වරූපය වෙනස්‌ කර ගත්තේ අනෙකුත් නිලධාරීන්ට කිසිවකුටත් පහර දෙන්න එපා කියමිනි.

මෙම පහරදීම සම්බන්ධයෙන් අප මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්‌ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමක්‌ කළ අතර එහිදී ඔහු මෙසේ පැවැසීය.

පොලිස්‌ භාරයට පත්වන කිසිදු සැකකරුවකුට පහරදීමක්‌ හෝ පීඩාවක්‌ කිරීමට පුළුවන් කමක්‌ නෑ. හම්බන්තොටදී ඇතිවූ සිද්ධිය අපි දැක්‌කා. උසස්‌ පොලිස්‌ නිලධාරියකු ලෙස ඔහු මේ කළ පහරදීම අවමන් සහගත එකක්‌ ලෙසයි අපි දකින්නේ. මෙවැනි සැකකරුවෙකු පොලිස්‌ භාරයට පත්වූ පසුව සිදුකළ යුතු වන්නේ සැකකරු ළඟම තිබෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමයි. ඉහළ නිලධාරීන් සතුටු කිරීමට මෙලෙස හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

හම්බන්තොට විරෝධය අතරතුර සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසමද පොලිස්‌පතිවරයාගෙන් වාර්තාවක්‌ කැඳවා ඇති අතර එම පහරදීම සම්බන්ධයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

පොලිස්‌ අත්අඩංගුවට පත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතා පැවසුවේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි. පොලිස්‌ පහරදීම්වලින් තුවාල ලබා සිටි සැකකරුවන්ට කෲර ලෙස සැළකීමත්, ඔවුන් සම්බන්ධයෙන් තිස්‌සමහාරාම රෝහලේ ශල්‍ය වෛද්‍යවරයාගේ නියෝගද නොසලකා හරිමින් පොලිසිය කටයුතු කර ඇති බවත් ඔහු පැවැසීය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!